Wednesday, July 20, 2011

ලාංකේය සුභාවිත සංගීතයේ සරසවි සලකුණ, යාත්‍රා !


ඔයාලට මතක ඇති මං පහුගිය වතාවේ පෝස්ට් එකෙන් අපේ CMS එක ගොඩ නැගුන  විදිය විස්තර කරන්න උත්සාහ  කරපු හැටි. ඒක බැලුවේ නැති අය ඉන්නවා නම් මෙතනින් ගිහින් කියවලා බලන්න. එදා මං පොරොන්දු වුණා ඊළඟ දවසේ යාත්‍රා ගැන කතා කරනවා කියලා. පොරොන්දුව ඉටු කරන්න ටිකක් කල් ගිය එක ගැන නම් ඇත්තටම දුකයි. ඒත් late is better than never කියනවනේ.
ඒ නිසා ඔන්න අද ආවා බ්ලොග් එක පැත්තෙ.


එදා ලිපියේ මං කිව්වා වගේ අපේ MUSICK කාරයන්ට show එකක් කරන්න ලොකු උණක් ඇවිත් තිබුනේ. ඒ වෙද්දී CMS එකේ සභාපති හිටිය අපේ 07 කණ්ඩායමේ තරිඳු ඇතුළු පිරිස මේ කටයුත්ත වෙනුවෙන් මූලික අඩිතාලම යොදන්න ගන්නවා. තරිඳු කියන විදියට මුදුන්කොටුව ශූරින් , ජානකී ප්‍රේමරත්න  ගුරුමෑණියන්, ජගත් ප්‍රේමචන්ද්‍ර සහ කිත්සිරි සමරසිංහ ගුරු පියවරු මේ කාර්යය වෙනුවෙන් ලොකු සහයෝගයක් ලබා දීල තියෙනවා.


සේරමත් හරි. Show එකට නමකුත් එපැයි. යෝජනා ගණනාවක් අතරින් වාස්තු විද්‍යා පීඨයේ චාමර විජේසිංහ අයියා එම පීඨයේම දුල්මිණි පෙරේරා අක්කාගෙ යෝජනාවකට අනුව ගෙනාව යාත්‍රා (VOYAGE) කියන නම ඒකමතිකව තෝරා ගන්නවා. එතැන් පටන් පළමු යාත්‍රාව දියත් කරන්න අපේ සහෝදරයෝ ටික මහන්සි වුණ විදිය මං විස්තර කරනවට වඩා හොඳයි තරිඳුගේ වචන වලින්ම ඒ ගැන අහන එක. මේ වතාවේ සමරු කලාපයට පළමු යාත්‍රාව ගැන තරිඳු ලියන සටහනෙන් උපුටා ගන්න මේ වචන ටික කියෙව්වම තේරේවි කොයි තරම් අපේ සහෝදරයෝ කණ්ඩායම යාත්‍රාවට  සමීප වෙලාද හිටියේ කියන එක.


"ඊට පස්සෙ ගතවෙන්නෙ ජීවිතයේ ඉතාමත් අමාරු කාල පරිච්ඡේදයක් බව මේ යාත්‍රාවට ගොඩවුන කොයිකවුරුත් දන්නවා. රෑ එලිවෙනකම් පුහුණුවීම් කරල පැයක් විතර නිදාගෙන ආයිත් දේශන වලට ගියපු කාලෙ මතක් වෙනකොට තවමත් පුදුමයි. ඊට අමතරව සල්ලි වලට වෙළඳ දැන්වීම් හොයන්න කඩයක් කඩයක් ගානෙ ගියපු විදිය, සමහර තැන් වලින් බැනල එලව ගත්ත සිද්ධීන් ජීවිතයට එක්කලේ අමුතුම අත්දැකීම් සමුහයක්. ඔය සිද්ධීන් අතරෙ කට්ටියගෙ පුහුණුවීම් ප්‍රමාද වෙනකොට ප්‍රසංගය නවත්තලා දාන්න හිතුනු අවස්ථාත් අනන්තයි. ඒ වගෙ වෙලාවට අපේ පිටිපස්සෙන් ඉඳගෙන අපිව දිරිමත් කරපු හිටපු සභාපති කසුන් අයියා ඇතුළු පිරිසට බොහෝම පිං. ඔබලා මේ යාත්‍රාව වතුරට තල්ලුකලේ නැත්නම් මේක එදා ගමන් අරඹන්න නොතිබෙන්නට තිබුනා. ඔවැනි කටුක සිද්ධීන් අතරෙ ඉතාමත් රසවත් සිද්ධීන් ගණනාවක්ම අපිට එකතුවුනා. මුළු ජීවිතය පුරාවටම මතක් කර කර හිනාවෙන්න දේවල් ඔය අතරෙ තිබුනා. ඒ අතරින් වත්මන් සභාපති, උප සභාපති කලිඳු සහ චරිත් දෙන්නව පුහුණුවීම් වලට එන්නෙ නැතුව බැනල එලවල දාපු වැනි සිද්ධිත් තියනවා.  පුහුණුවීම් අතරතුර සිදුකර ගන්නා වාග් ප්‍රහාර, රළු වචන ඉන් එහාට තඹයකට වත් මායිම් නොකිරීමට තරම් අපේ යාත්‍රා පවුල ශක්තිමත් සංවේදී එකක් වුනා. මොකද එහෙමවුනේ නැත්නම් අද මම මේ සටහන නොතබන්නට තිබුනා. තමුන්ගේ පවුලේ තමන්ගේ කෙනෙකු යැයි හැඟීම අපි කා තුලත් තිබුනා. ඒක සාමාන්‍ය විශ්ව විද්‍යාල සංස්කෘතියට වන ජ්‍යේෂ්ඨත්වයට එහා ගිය බැඳීමක්. විශ්වවිද්‍යාල භූමිය තුල ඔවුන් දකිනවිට තමන්ගේ පවුලේ කෙනෙකු දකිනවා වාගේ හැඟීමක් අපි කා තුලත් තිබුනා. ඉතින්  එවන් පවුලකට මෙවන් සාර්ථක යාත්‍රාවක් බොහොම පහසු දෙයක් නොවේද..?"


මේ ප්‍රසංගයට ගායකයෝ තෝරා ගන්න තිබ්බ audition එකට මමත් සහභාගී වුණා. ඒකෙන් තේරුණ නිසා පළමු යාත්‍රාවේ නැවියෙක් වෙන්න මමත් සුදුසුකම් ලැබුවා. පළමු යාත්‍රාවේ theme එක වුනේ වික්ටර් රත්නායකයන්! එතුමා විසින් අපේ කලා ලෝකයට තිලිණ කරපු බොහොම රසබර ගීත එකතුවක් ප්‍රසංගයේදී ගායනා කෙරුණා. මම ගායනා  කරේ "මියුරු කල්පනා' ගීතය. වීඩියෝ කරන්න ඇවිත් ඉඳපු අයගේ දක්ෂතාව  නිසාම අද වෙද්දී ඒ ගීතය බලා ගන්න විදියක් නැහැ. ඒ නිසා ඔන්න photo එකක් දානවා.


ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි වික්ටර් රත්නායකයන් ඇතුළු බොහෝ පිරිසකගේ ප්‍රශංසා සුභාශිංසන මැද්දේ පළමු යාත්‍රා ප්‍රසංගය නිමාවට පත් වුණා. හරියටම දිනය කිව්වොත් 2009 අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ 6 වෙනිදා.
එතැනින් පටන් ගත්ත ගමන අද වන විට ලොකු දුරක් අපි ඇවිත් තියෙනව කිව්වොත් හරි. මේ වතාවේ පැවැත්වුන තෙවන යාත්‍රා ප්‍රසංගය ගැන අද වෙද්දි සරසවිය පුරාවටම කතා බහ වෙනවා. මෙතෙක් තිබුන සාර්ථකම ප්‍රසංගය ඒක කිව්වොත් කව්රුත් මාත් එක්ක තරහ වෙන එකක් නැහැ. කොටින්ම යාත්‍රා පටන් ගත්ත වෙලාවේ දැකපු සිහිනය හරියටම සැබෑ වුනේ මේ වසරේ කියන එක අපි හැමෝම පිලිගන්න කාරණයක්. ඉතින් අපි හැමෝටම දැනෙනවා අනාගතය මීටත් වඩා පැහැබර එකක් වේවි කියලා. 


මේ ප්‍රසංගයට ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වුන වික්ටර් රත්නායක , සුනිල් එදිරිසිංහ , රෝහණ වීරසිංහ යන රටේ නම ගිය කලාකරුවන් සියලුම දෙනා කියපු කාරණයක් මේ වෙලාවේ මතක් කරන්න කැමති. ඒ තමයි තාක්ෂණික උපාධි පාඨමාලා හදාරන ශිෂ්‍යයන් වුනත් අපේ ගායකයෝ සහ වාදකයෝ ප්‍රකට කරපු දක්ෂතා ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායකයන් සහ වාදකයන්ගේ මට්ටමින්ම තිබුන බව.අපිට ආඩම්බරයි! එවැනි දක්ෂතා සපිරි සහෝදර සහෝදරියන් පිරිසක් එක්ක මේ සරසවි සෙවනේ කල් ගෙවන්න ලැබීම ගැන.


අද වෙද්දි අපේ යාත්‍රාව තුන් වතාවක් දියත් වෙලා තියෙනවා. ඒ ගමනට දිරි දුන්න නියමුවෝ තුන් දෙනෙකුත් පහුගිය කාලෙ යාත්‍රාව එක්ක හිටියා. 
අපේ තරිඳු , 08 කණ්ඩායමේ සචිත් මල්ලි, 09 කණ්ඩායමේ තනුෂාන් මල්ලි. ඔවුන් ඇත්තටම යාත්‍රාව තමන්ගේ ජීවිතය කරගෙන තිබුන කිව්වොත් තමයි හරි. ඒ කාර්යයට අත් වැල සපයපු නාවිකයෝ ගණන  නම් කියල නිම කරන්න  බැරි තරම්. ඉංජිනේරුවෙක් එහෙමත් නැත්නම් තාක්ෂණවෙදියෙක් කියල බාහිර ලෝකය විසින් හදුන්වන අය අතරේ කොතරම් රසකාමියෝ ඉන්නවද කියන එක , ඒ අයට කොච්චර සංවේදී වෙන්න පුලුවන්ද  කියන එක මේ පිරිස හැමෝටම පෙන්නුවා.

අපි මේ ගමනෙදි හිනා වුණා. තවත් වෙලාවක හැඬුවා. දුකට. ආයෙත් හැඬුවා. සතුටට. ඒ හැමදේම අපි බෙදා හදා ගත්තේ එක පවුලක දරුවෝ වගේ.  සංගීත සාගරයේ රස මුසු තැන් සොයාගෙන ගියපු අපේ යාත්‍රාව කුණාටු , දිය සුළි වලට පවා මුහුණ දීල අවසානයේ සාර්ථක ගමනක් නිම කරලා දැන් වරායකට සේන්දු වෙලා බලන් ඉන්නවා. ඒ තවත් අලුත් නියමුවෙක් අලුත් නාවිකයෝ පිරිසක් එක්ක ඇවිත් යාත්‍රාව නැවතත් දියත් කරනකන්. අපිත් ඒ දවස එන තුරු බොහොම ආසාවෙන් බලන් ඉන්නවා.තෙරක් නොපෙනන සංගීත සාගරයේ රස මුසු තැන් සොයාගෙන ආපහු සැරයක් යාත්‍රා කරන්න!

4 comments:

  1. Nice work Dude...!!!
    And specially, nice set of words...:)

    ReplyDelete
  2. අලුත් නියමුවෙක් අලුත් නාවිකයෝ පිරිසක් එක්ක ඇවිත් යාත්‍රාව නැවතත් දියත් කරනකන්. අපිත් ඒ දවස එන තුරු බොහොම ආසාවෙන් බලන් ඉන්නවා.තෙරක් නොපෙනන සංගීත සාගරයේ රස මුසු තැන් සොයාගෙන ආපහු සැරයක් යාත්‍රා කරන්න!!!!!!!!!

    සිරාවටම ආපහු පාරක් යාත්‍රා කරන්න අවස්තාවක් එනකන් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ..... නියම කතාව.... ස්වරස්ථාන ටික ගලපලා නිවැරදි ස්‍රෞතියෙ පිහිටුවලා.... මරු අලංකාර ටිකක් එක්ක ලියලා තියනවා.... හික් හික්

    ReplyDelete
  3. ලස්සන කතාවක්. ඔන්න එහෙනම් මුල් හරිය අපි දැනගත්තා. හෙනම ගේමක් දීල සී එම් එස් එක පටන් අරන් යාත්‍රා කරපු හැටි ඊයේ අපි අයියලාගේ කටින්ම අහගන්න ලැබුනානේ. මේ පාර යාත්‍රාව ගොඩක් සාර්ථකයි කියල අයියලගේ කටින්ම අහගන්න ලැබුන ගැන අපිට ගොඩාක්ම සන්තෝසයි. එහෙනම් ලබන අවුරුද්දේ යාත්‍රා වලදී අපි අයෙමත් එකතු වෙමු! එකම පවුලේ සහෝදර සහෝදරියන් වගේ එකතු වෙලා මේ යාත්‍රාව තවත් රටක හොයාගෙන දියත් කරමු.

    ReplyDelete
  4. yatrawata mage suba patum.... podi awlak tiyenawa, ohela mata meka tiyena dawasa kiwwe na, natnam mamath anawa.......yatrawaka nagana atate yanne....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...