Sunday, January 13, 2013

ගඟ ගලනා.................

කොහොමද යාළුවනේ ,
මාස ගානකින් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න  බැරි වුණා තිබ්බ වැඩ රාජකාරි එක්ක . ඊටත් වඩා මගේ හිතට කික් වෙන දෙයක් ලියන්නත් බැරි වුණා . ඒ නිසාම ලියන්න හිතන් හිටපු දේවල් කීපයකුත් මග අරුණා.
අද නම් ආවේ අලුත්ම දෙයක් අරගෙන , මගේ අලුත්ම ගීතයක් තමා අද ඔයාලට ඉදිරිපත් කරන්නේ . හැම පිරිමියෙකුටම පොදුවේ  දැනෙන අත්දැකීමක් ගැන  මගේ හිතේ තිබුන සංකල්පනාවකට,  කාලෙකට ඉස්සර ,පද මාලාවක්  ගෙතුනේ මේ විදියටයි .


ගඟ ගලනා හඬ ඇසෙනා විට මට හැඟෙයි ඔබ මා අමතයි  කියා 
සඳ දිලෙනා රෑ සිතුනා ඔබ මා දිහා බලමින් හිනැහෙනයුරා   

සඳ අබියස තරු කැල ආලෝකය සැඟවී යන්නේ 
 ඒ වාගේ ඔබගේ රුව සුර අඟනන් පරදන්නේ 

මගෙ හදවත කළඹන හැඟුමන් පුබුදන සොඳුරියෙ ඔබ කව්දෝ 
සොඳුරියෙ ඔබ කව්දෝ 
මගෙ සිතිවිලි කළඹන සිත චංචල කල සොඳුරියෙ ඔබ කව්දෝ 
සොඳුරියෙ ඔබ කව්දෝ 
තිබෙන තුරා දිවි හද විමසන්නේ //

පා තබනා ලැසි  ගමනේ  රිද්මය දැනී කවි ගී සිත පබැඳූනේ  
නිල් මිණි වන් නෙත් සඟලෙන් හෙලු බැල්මකින් කාලය නැවතී යනු දැනේ 

තනියම ගිටාර් එක වාදනය කරන ගමන් තනුවකුත් දාලා තියන් හිටියා ගීතයක් කරන්න ඕනේ කියලා .
පහුගිය දවස් වල කෞශික් මිලින්ද , නිසල් ගන්ගොඩගේ  යන අයගේත් සහයෝගය සහිතව ගීතයේ වැඩ අවසන් කලා . මෙතනින් ඔයාලට ගීතය අහන්න පුළුවන්.
MP3 විදියට බාගන්න කැමති අයට එළකිරි සයිට් එකෙන් මෙතනින් බාගන්නත් පුළුවන්.
 මේ දවස් වල ගුවන් විදුලි නාලිකා වලට සහ තවත් වෙබ් අඩවි වලට සින්දුව ඇතුල් කරන්න  උත්සාහ කරනවාඉස්සරහට මේ සින්දුවට වීඩියෝ එකක් කරන්නත් හිතේ පොඩි අදහසක් තියෙනවා .  .එහෙම නම් සින්දුව අහල බලන්න . ලස්සනයි කියලා හිතෙනවා නම් යාලුවෝ අතරෙත් ෂෙයාර් කරාට අපි තරහ වෙන්නේ නැහැ ඔන්න . :-)

Sunday, October 14, 2012

හිටිවන කවි

මේ බ්ලොග් එක කියවන්න එන අය ගොඩ දෙනෙක් අංගම්මන සුමන කවියේ කතාව අහල ඇති කියල හිතෙනවා,
ඇත්තටම ඉතින් කවි ලියන එකත් ලේසි වැඩක් නෙමෙයි, විශේෂයෙන් හිටිවන කවි. එක පදයක් කීවට පස්සේ තව එකක් මතක් නොවුනොත් ඉතින් බඩුම තමා. 
වාද බයිලා කියන එකත් ඔය වගේ වැඩක්නේ. එක පාරක් අපි කැම්පස් එකේ සෙට් එකක් ට්‍රිප් එකක් ගියපු වෙලාවක පැය එක හමාරක් විතර එක දිගට වාද බයිලා කියාගෙන ආවා. එදා කොහොම ඒවා කියවුනාද කියල තාම හිතාගන්නත්  බෑ. ආයේ ඒ වගේ කියන්න හම්බෙලත් නෑ. වෙලාවක් හම්බුනත් කියන්න පුළුවන් වෙයිද කියල ෂුවර් එකකුත් නෑ. 

වල් පල් දෙඩෙව්වා ඇති වගේ, කතාවට එමුකො. මේ කතාවත් කීවේ අපේ කළුපහන සර්
ඔන්න එකමත් එක දවසක කවි කාරයෝ හතරදෙනෙක් ගමනක් යන ගමන් සුන්දර වෙල් යායක් දැකල අවට සිරි නරඹන්න නැවතුනාලු. කවි සිතිවිලි පහල වෙන්නත් ඉඩ තියෙනවනේ සිරි නරඹනකොට. වෙල්යාය අයිනෙන් පොඩි ඔය පාරක් වගේ එකකුත් ගලා බහිනවලු. ඔය හරහා තිබ්බ ඒ දණ්ඩකින් තරමක් මිටි මනුස්සයෙක් එගොඩ වෙන්න ගිහින් ඔයට වැටෙනවා මේ කවියෝ හතර දෙනා දැක්කලු. 
මේක දැකපු පාර මුල්ම කවියා, පදයක් කියල කවියක් ගොතන්න පටන් ගත්තලු මෙහෙම
ඒ දණ්ඩෙන් යන කලටා
දෙවෙනි කවියා එලිසමයත් රැකලා මේ විදියට දෙවෙනි පදේ එකතු කරාලු
වැටුනේය ගඟටා
තුන්වෙනි කෙනා මෙහෙම තුන් වෙනි පදේ  එකතු කරාලු
කොටා
හතර වෙනියට කියන්න දෙයක් දැන් ඉතින් ඉතුරු වෙලා නෑනේ
තුන් වෙනි පදෙන් කතාව කියල ඉවරයිනේ
ඉතින් මෙහෙම කියවුනාලු
හුටා

ඔන්න දැන් කවිය සම්පූර්ණයි
පල්ලෙහා දාලා තියෙනවා සම්පූර්ණ කවිය

ඒ දණ්ඩෙන් යන කලටා
වැටුනේය ගඟටා
කොටා
හුටා

ප.ලි.
මං කවි කියලා ලියන ඒවත් මේ වගේද මන්දා?
හික් හික්

Saturday, October 13, 2012

සෙරෙප්පු හොරුන්ට කොකා පෙන්වමු


පන්සල් යන එන අය නිතර මුහුණ පාන ප්‍රස්නයක් වන්නේ

සෙරෙප්පු දෙක ආරක්ෂා කර ගැනීමය. පන්සල් දොරටුව ඉදිරිපිට පාවහන් ගලවා පන්සලට ඇතුළු වී බුදුන් වැඳ සැදැහැ සිතින් පිටවන අයට දැක ගත හැක්කේ තම සෙරෙප්පු යුගල අතුරුදහන් වී ඇති ආකාරයයි.

මෙයට විසඳුමක් ලෙස සෙරෙප්පු නොමැතිව පන්සල් යාම කල හැක. එහෙත් දඩාවතේ යන බල්ලන් පාරට තාර දැමීමේ කටයුතු වල නිරත වන බැවින් එසේ කිරීම දැන් අපහසු වී ඇත.
මෙයට සාර්ථක විකල්පයක් අපේ නිවසේ ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි. ඉවත දමන දේවල් නැවත භාවිතයට ගන්නා පරිසර හිතකාමී විසඳුමක් ලෙස මෙය හැදින්වීමට පුළුවන. පහත පින්තූරයේ දැක්වෙන්නේ සෙරෙප්පු හොරුන්ට වැට බඳින සාර්ථක විසඳුමයි.

Saturday, September 22, 2012

කරළියේ කෝලම්

ඉස්සර අපේ චන්ද්‍ර මාමා රැකියාව කරේ සංස්කෘතික දෙපාර්තුමේන්තුවේ. අම්බලන්ගොඩ කලා කටයුතු වලට නම් දරාපු නගරයක් නිසා සැරින් සැරේ කට්ටිය එනවා චන්ද්‍ර මාමා එක්ක. ඒවා ගැන විස්තර හොයන්න, අධ්‍යයනය කරන්න, . ඔහොම එක පාරක් ලයනල් රන්වල මහත්තයත් අම්බලන්ගොඩ  රූකඩ බලන්න ඇවිත් අපේ ගෙදරින් නාලා, දවල් කෑමත් අරගෙන ගිහින් තිබුණා. තව එක පාරක්, සෙන්කොලේ නිර්මාතෘ වෙච්ච ඇස් පි චාල්ස් මහත්තයත් අපේ ගෙදර ආවා කියලා පොඩි මතකයක් තියෙනවා. මේ විදියට එක පාරක් , අපේ මාමා එක්ක සබරගමු නැටුම් කලාවේ නියැලෙන කලා කරුවෝ පිරිසක් අපේ ගම් පළාතට ආවා මෙහෙ තියෙන නැටුම් ගැන එහෙම දැක බලාගන්න කියලා. 

ඔය කට්ටිය එනවා කියන  ආරංචිය දැන ගත්ත දවසේ ඉඳල අපේ අමල් අයියලා ප්ලෑන් කරා කෝලම් නාට්‍ය කීපයක් මේ චාරිකාවේ එන අය ඉස්සරහ රඟ දක්වල පෙන්නන්න. ඉතින් දන්නා අඳුරන, නැටුමට ආසාව තියෙන කට්ටියක් එකතු වෙලා ගමේ ස්කොලේ පන්ති කාමරේක ඔන්න පුරුදු වෙන්න පටන් ගත්තා. ගම කතාව, අඬබෙර කෝලම, පේඬි කෝලම, බඩ දරු කෝලම තමයි මට මතක විදියට පුරුදු වුනේ. එතන හිටපු පොඩිම එකා වෙච්චි මට අනිත් අයියලා එක්ක හරි හරියට නටන්නවත් , කවි කියන්නවත් තේරුමක් තිබ්බේ නෑ ඒ කාලේ.  ඒත් කෝම හරි මටත් පොඩි පාර්ට් එකක් කරන්න චාන්ස් එක ලැබුණා අඬබෙර කෝලමේ.
 
වෙස් මූනකුත් බැඳගෙන ගමේ ස්කොලේ පිට්ටනියේ කෝලම් රඟ දක්වපු ඒ අත්දැකීම නම් ආයේ ලබන්න බැරි වෙයි මං හිතන්නේ. කොච්චර මට ඒක හිතට වැදුනද කීවොත් අඬබෙර කෝලම දෙබස් කට පාඩමේ මතක තියාගෙන ගිහින් ස්කොලේ යාලුවෝ එක්ක පුරුදු වෙලා පන්තියේ යාලුවෝ ඉස්සරහ ඉදිරිපත් කරා. නරක නෑ නේද පොඩි වයසට කරපු වැඩ? :D මේක ඇවිල්ල එකදාස් නමසිය බර ගණන් වල , ඒ කියන්නේ 97 අවුරුද්දේ විතර ලබපු අත්දැකීමක්. ඒ කියන්නේ මම ස්කොලේ පහ වසරේ ඉන්න කාලේ.

කොහොම වුනත් ඒ පරණ මතකය අලුත් වෙන විදියේ වැඩකට සහභාගී  වෙන්න අවස්ථාවක්  ලැබුණා ටික දවසකට උඩදී. වැඩේ මේකයි, අම්බලන්ගොඩ පාරම්පරික නැටුම් කලාවේ උරුමය දිගටම පරපුරෙන් පරපුරට පවත්වාගෙන එන බන්ධු විජේසූරිය කලායතනේ අය එකතු වෙලා කෝලම් නාට්‍ය ඇතුලත් නාට්‍ය නිෂ්පාදනයක් එලි දක්වන්නයි සූදානම. ලබන මාසේ හත් වෙනිදා ටවර් හෝල් රඟහලේ තමයි මේ සංදර්ශනය පවත්වන්න හිතාගෙන ඉන්නේ. වැඩි විස්තර පෝස්ටර් එකෙන් බලාගන්න පුළුවනි,  කවදාවත් නැටුම් ඉගෙන  ගෙන නැති අපිට මොන කෝලම්ද කියලා කෙනෙකුට ප්‍රස්නයක් එන්න පුළුවන් . ස්කොලේ වැඩ වලදී දැන අඳුනගෙන තිබුණා නිසා කාංචනා විජේසූරිය ගුරුතුමිය  මේකේ අත්වැල් ගායනා වලට සහයෝගය දෙන්න එන්න කියලා ආරාධනාවක් කරා. මං ඒක සලකන්නේ ලොකු වාසනාවක් හැටියට.  බෙරයක් වදිනවා ඇහෙනකොටත් නිකන්ම අතපය හතර හෙලවෙන නිසා පුහුණුවීම් වලට සභාගි වෙන්නේ නම් හරිම කැමැත්තෙන්. 

Saturday, August 25, 2012

කොන්දොස්තර උතුමාණෙනි

දැන් විනාඩි පහලවක් විතර 
බස් එක නවත්තගෙන  හෝල්ට් එකේ
පටවනවා පටවනවා 
අපි "පොල් ගෙඩි" වගේද උඹට පේන්නේ 

කන් දෙක පැලෙන තරමට 
බැඳලා ස්පිකර් දෙකක් 
දානවා සින්දුවක්
මේක ලස්සනයි කියලද හිතන් ඉන්නේ

ඉස්සරහට යන්න කීවට 
බස් එකේ ඉඩ නෑ යන්න ඉස්සරහට
තද වෙලා බෑ ඉන්න 
ඩ්‍රයිවර්ට කියපන් "ඉස්සරහට යන්න" 

Saturday, August 4, 2012

කෝච්චියේ දවසක්

වෙලාව හයයි , තාම ඔෆිස් එකේ. 
හයයි හයට කෝච්චිය. දැන් ඉතින් කෝච්චිය අල්ලන්න නම් කකුල් දෙකට පින් දීගෙන දුවන්න වෙනවා ස්ටේෂන් එකටම.
පාරට දුවගෙන ඇවිත් බලනකොට කවින්ද ත්‍රි වීල් එකකට නගිනවා. මමත් ගිහින් ඒකෙම එල්ලුනා. ස්ටේෂමට ගිහින් බලද්දි කෝච්චිය පරක්කුයි. කෝච්චිය ආවා කියමුකෝ. ඒකත් සෙනග පිරිලා ඉන්න තැනක්වත් නෑ.  පානදුර හරියට වෙනකන් තෙරපි තෙරපි ඇවිත් සෙනග ටිකක් අඩු වෙනකොට ඇතුලට ආවත් සීට් එකක් හම්බෙන පාටක් තිබුනේ නෑ."බදාදා පෝය නිවාඩුව හින්ද වෙන්න ඇති මෙච්චර සෙනග". එහෙම හිතපු මම හිටගෙන ඇවිත්, ඉන්න බැරිම තැන ෆුට් බෝර්ඩ් එකේ වාඩි වෙලා ආවා කළුතර ඉඳන් අලුත්ගමට.  අලුත්ගමදී ඇතුලට ඇවිත් බලනකොට මෙන්න තියෙනවා හිස් සීට් එකක්. නිවන් ගියා වගේ දැනුන සතුටත් එක්ක මම ඒකෙ වාඩි වුනා විතරයි අපේ පෙට්ටියට ගොඩ වුනා අම්ම , තාත්තා දෙන්නෙකුයි පොඩි දුවකුයි. එයාලට වාඩි වෙන්න සීට් තිබුනේ නෑ. මම නැගිටලා එයාලට සීට් එක දීලා ආයෙත් හිටගෙන යන්න පටන් ගත්ත. තාත්ත දුවත් එක්ක සීට් එකේ වාඩි වුනා. අම්ම හිටගෙන. තව ටිකක් වෙලා යද්දී එහා සීට් එකේ හිටපු කොල්ලත් නැගිටලා යන්න ගියා. අම්මා ඒ සීට් එකේ වාඩි වුනා. සීට් එකක් නැතුව ඉද්දි , සීට් එක දීපු මම දිගටම හිටගෙන ඇවිත් අම්බලන්ගොඩින් බැහැල ගියා. 
හැමෝම කියන්නේ කෝච්චියේ හැමදාම ඔෆිස් යන උන්ට මනුස්ස කමක් නැහැ කියලා..
හ්ම්....

Sunday, July 15, 2012

වැඩකාරයට නමක්

අද මම කියන්න හදන්නේ නම් නිසා ඇති වෙන පැටලවිලි ගැන පොඩි කාලේ අහපු තේරවිල්ලක්.  මේකට  උත්තරේ  ගොඩක් අය දන්නවා ඇති. ඒත් මතක් වුන එකේ ඔන්න ඔහේ ලියලා දාන්න ඕන කියල හිතුණා.

ඔන්න එකමත් එක ගෙදරක ජෝඩුවක් සතුටෙන් ජිවත් වුනාලු. ගෙදර වැඩ ටික තනියම කරගන්න අමාරු නිසා මහත්තය තීරණය කරාලු ගෙදරට වැඩ කාරයෙක් ගේන්න. ඉතින් හොයල හොයල හොඳ විශ්වාසවන්ත තැනකින් වැඩ කාරයෙක් එක්කගෙන ආවලු. ඒත් මේ වැඩ කාරය ටික කලක් යද්දී ගෙදරින් යන්න ගියාලු. මේ විදියට සැරින් සැරේ කොච්චර වැඩ කාරයෝ ගෙනාවත් වැඩි කල් ඉන්නේ නැතුව යනවලු. මහත්තය කරන්නම   දෙයක් නැති තැන මෙහෙම වෙන්නේ ඇයි කියලා. බැලින්නම් නෝනගේ නරක පුරුද්දක් නිසා තමයි මේ හැමෝටම ගෙදර ඉන්දිල්ල එපා වෙලා තියෙන්නේ. නෝනා වැඩකාරයොන්ට කතා කරද්දී නම අගට "යා" කෑල්ලක් දාලලු  කතා කරන්නේ.
උදාහරණයක් කිවොත් මට කතා කරනවා නම් "අසංකයා".
තරංග නම් "තරංගයා" 

ඉතින් නෝනගේ මේ පුරුද්ද නවත්තන්නයි, වැඩ කාරයෙක් ඕනේ නිසයි හොඳට කල්පනා කරලා හොඳ නමක් තියෙන වැඩ කාරයෙක් ගේනවලු ගෙදරට. මේ මනුස්සය ආවට පස්සේ නෝනගේ මේ "යා" පුරුද්ද නැවතුනාලු.

ගෙදරට අලුතින් ගෙනාපු වැඩ කාරයාගේ නම දන්නා අය ඉන්නවා නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාලම යන්න හොඳේ...
Related Posts Plugin for WordPress, Blogger...