කලින් පෝස්ට් එකක මගේ කෝච්චි පිස්සුව ගැන ඔයාල එක්ක කිව්වා මතක ඇති. ඉතින් ඒකෙ කියපු විදියටම හයික් එකක් යන්න සඳරුවන් කුඩාහෙට්ටි ආරාධනාවක් කරලා තිබුණා. මේ දවස් වල අපේ පැත්තේ කෝච්චි යන්නෙ නෑනේ. පාර හදන්න ගලවල තියෙන්නෙ. වෙනදට නම් අඩුම ගානේ ගෙදර ඉන්නකොට කෝච්චියක සද්දයක් හරි ඇහෙනවා. දැන් ඒකත් නැති නිසා ටිකක් විතර සාංකාවෙන් තමයි හිටියේ. ඒ දුකට පොඩි කවි පේලියකුත් ලියල දැම්මා, ඒක මෙතනින් කියවල බලන්න කලින් දැකපු නැති අය ඉන්නවා නම්.. ඉතින් කාලෙකින් දැකපු නැති M6, M5, W3 යාළුවො ටිකයි කවදාවත් ඇහැට දැකලා නොතිබුන කෝච්චි පිස්සන්ගෙ ගෘප් එකේ යාලුවන්වයි බලලා එන්න කියල හිතන් මමත් සහභාගී වුණා මේ චාරිකාවට.
දැන් කට්ටිය කල්පනා කරනවද දන්නෙ නෑ මේ රේල් හයික් එකක් කියන්නෙ මොකක්ද කියලා. මෙතනදී වෙන්නෙ ලංකාවේ දුම්රිය මාර්ගයක වැදගත් , ලස්සන කොටසක් තෝරාගෙන ඒ ඔස්සේ ඇවිදගෙන යාම. අවට සිරි නරඹන්න , පාර දිගට මුණ ගැහෙන වැදගත් තැන් වල පොටෝ ගන්න , ඒ මාර්ගයේ යන එන කෝච්චි වල පොටෝ ගන්න වගේ වැඩ ගොඩක් තියෙනවා...
තනියම යනවට වඩා ඒ මාර්ගය පිලිබඳ විස්තර දන්න කියන කෙනෙක් එක්ක යන එක තමයි ගොඩාක් හොඳ. මොකද එතකොට එයාලා දන්න දේවල් අපිටත් ඒ වෙලාවේදී අපේ දැනුමට එකතු කරගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් කෝච්චියක ගියෝතින් අපිට බලාගන්න ලැබෙන්නෙ කෝච්චියෙන් එක පැත්තක දර්ශනය විතරයි. ජනේලෙන් හරි දොරකින් හරි අංශක 180 ක ප්‍රමාණයක් බලාගන්න පුළුවන්. නැරබුම් මැදිරියක ගියෝතින් ඊටත් වඩා හොඳට අවට පරිසරය බලන්න පුළුවන් වුනත්, අංශක 360 ක දර්ශනයක් පයින් යනකොට බලන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය නම් නැවතිලා ටිකක් වෙලා කැමති තැන් වල ඉන්නත් පුළුවන් නිසා හයික් එකක් යන එක ගොඩාක් වාසියි.
අපි මේ වැඩේට තෝරාගෙන තිබුනේ ලංකාවේ ලස්සනම , වැඩිම නැග්මක් තියෙන දුම්රිය මාර්ගයක්. ඒ කියන්නේ රඹුක්කන ඉඳන් කඩුගන්නාව දක්වා මාර්ගය.මේ දුම්රිය ස්ථාන දෙක අතරතුර මුහුදු මට්ටමේ ඉඳන් අඩි 313 සිට 1700 දක්වා නැග්මක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අලි පස්ස, සිංහ කට, සෙන්සේෂන් රොක් වගේ ස්ථාන පහු වෙන්නෙත් මේ මාර්ගයේදී. නුවර යනකන් දුම්රිය මාර්ගයේ තියෙන උසම ස්ථානය හම්බවෙන්නෙ කඩුගන්නාවේදී. ඒ වගේම තමයි මේ කොටසේ බිම් ගෙවල් 12 කුත් මුණ ගැහෙනවා. දුර ගත්තොත් කිලෝ මීටර 21 ක්.
මේ ගමන විනෝදය ගෙන දෙන ගමනක් වුනාට අවදානමකුත් තියෙනවා. ඒ නිසා සෑහෙන්න කල්පනාවෙන් යා යුතු ගමනක් කිව්වොත් නිවැරදි. කෝච්චි යන එන වෙලාවල් පිලිබඳ අනිවාර්යයෙන් අවබෝධයක් තියෙන්න ඕන. වටපිටාව ගැන සැලකිල්ලෙන් යාමත් අනිවාර්යයි. මොකද කෝච්චියක් ළඟ එනකොට එන්ජිමේ ශබ්දය අනුව ඒක දැනගන්න පුළුවන්. මේක වැදගත් වෙනවා බිම් ගෙවල් ඇතුලෙන් යන්න තියෙන නිසා. බිම් ගෙයක් ඇතුලෙදි දුම්රියක් හමු වීම වලක්වා ගැනීම තමයි නුවණට හුරු. ඒ වගේමයි දුම්රිය ස්ථාන වල කාර්ය මණ්ඩලය දැනුවත් කරලා එයාල එක්ක කතා බහ කරලා යන එකත් වැදගත්. මොකද කිව්වොත් දුම්රිය ප්‍රමාද වීම, විශේෂ දුම්රිය ගමන් වාර එහෙම තියේනම් ඒ දේවල් දැනගන්න පුළුවන් නිසා.
මේ ගමන යද්දි බිම් ගෙවල් ඇතුලෙ කළුවරට මුහුණ දෙන්න හොඳට එලිය තියෙන ටෝච් එකක්,වැස්සට නොතෙමී යන්න වැහි කබායක්, කූඩැල්ලොන්ගෙන් ආරක්ෂා වීමට සබන්, ගොඩාක් දුර පයින් යන්න තියෙන නිසා බිස්කට් වැනි ආහාරයක්, වතුර ගෙන යාම නුවණට හුරුයි.
අපි ගමන යන්න සුදානම් කරලා තිබුනෙ කොටුවෙන් උදේ 5.55 ට පිටත් වෙන පොඩි මැණිකේ සීග්‍රගාමී දුම්රියෙන්. පොඩි මැණිකේ එක්ක කඩුගන්නාවට ආපු අපි නැවතත් රඹුක්කන දෙසට පා ගමනින් ආවා.මේ පින්තූරේ ඉන්නෙ අපේ ගමනට සහභාගී වුණ කෝච්චි පිස්සො කණ්ඩායම. ඔන්න එතන ඉඳන් කතාව මම පින්තූර කතාවක් වගේ තමයි කියන්න යන්නෙ. මේකට හයික් එක ගියපු දෙතුන් දෙනෙක්ගේම පොටෝ ගත්ත නිසා ඒ කස්ටියවත් මතක් කරන්න ඕනි. ඊළඟ පෝස්ට් එකෙන් අපේ හයික් එකේ පින්තූර කතාව ඔයාලට බලන්න පුළුවන්. ඉක්මනටම ඒ පෝස්ට් එකත් දාන්නම්කො. එතකන් හැමෝටම බුදු සරණයි!
හොඳා හොඳා... දාමු ඉතුරු ටිකත්....
ReplyDeleteඑලස් ය !!
ReplyDeleteniyamai
ReplyDeleteඈතින් පේන බතලේගල කන්ද දිහා බලාගෙන,පහතින් පෙනෙන මීදුම් වලින් වැහුණු සබරගමුව පලාතේ හෙම්මාතගම ,මාවනැල්ල ලස්සනට පෙනෙද්දි,කෝච්චියට ගොඩවෙන වඩේ විකුණන අය,කෙසෙල් ගෙඩි විකුණන අය දිහා ආසාවෙන් පෙරේතකමින් බලාගෙන,බිම්ගෙය පසු කරද්දි හූ කියන ලස්සන දුම්රිය ගමන මටත් කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
ReplyDeleteහරිම ලස්සන පෝස්ට් එකක්.දිගටම ලියන්න...අපි බලා ඉන්නවා.
හයික් එක මිස් උනානේ බන්. අපරෙදේ.. ඇයි මචන් උද ඉදන් පහලට ආවේ? විශේෂ හේතුවක් තියෙනවද?
ReplyDelete@kavinda:මචන් මෙතන කන්ද පහලට එන එක නුවණට හුරුයි
ReplyDeleteමොකද කන්ද නගින්න ගියොත් ගමන් මහන්සිය වැඩි වෙනවනේ
අඩි 1400 ක විතර නැග්මක් තියෙනවා.
එල එල .... මම දැන්නේ දැක්කේ මේක......
ReplyDelete