Saturday, September 22, 2012

කරළියේ කෝලම්

ඉස්සර අපේ චන්ද්‍ර මාමා රැකියාව කරේ සංස්කෘතික දෙපාර්තුමේන්තුවේ. අම්බලන්ගොඩ කලා කටයුතු වලට නම් දරාපු නගරයක් නිසා සැරින් සැරේ කට්ටිය එනවා චන්ද්‍ර මාමා එක්ක. ඒවා ගැන විස්තර හොයන්න, අධ්‍යයනය කරන්න, . ඔහොම එක පාරක් ලයනල් රන්වල මහත්තයත් අම්බලන්ගොඩ  රූකඩ බලන්න ඇවිත් අපේ ගෙදරින් නාලා, දවල් කෑමත් අරගෙන ගිහින් තිබුණා. තව එක පාරක්, සෙන්කොලේ නිර්මාතෘ වෙච්ච ඇස් පි චාල්ස් මහත්තයත් අපේ ගෙදර ආවා කියලා පොඩි මතකයක් තියෙනවා. මේ විදියට එක පාරක් , අපේ මාමා එක්ක සබරගමු නැටුම් කලාවේ නියැලෙන කලා කරුවෝ පිරිසක් අපේ ගම් පළාතට ආවා මෙහෙ තියෙන නැටුම් ගැන එහෙම දැක බලාගන්න කියලා. 

ඔය කට්ටිය එනවා කියන  ආරංචිය දැන ගත්ත දවසේ ඉඳල අපේ අමල් අයියලා ප්ලෑන් කරා කෝලම් නාට්‍ය කීපයක් මේ චාරිකාවේ එන අය ඉස්සරහ රඟ දක්වල පෙන්නන්න. ඉතින් දන්නා අඳුරන, නැටුමට ආසාව තියෙන කට්ටියක් එකතු වෙලා ගමේ ස්කොලේ පන්ති කාමරේක ඔන්න පුරුදු වෙන්න පටන් ගත්තා. ගම කතාව, අඬබෙර කෝලම, පේඬි කෝලම, බඩ දරු කෝලම තමයි මට මතක විදියට පුරුදු වුනේ. එතන හිටපු පොඩිම එකා වෙච්චි මට අනිත් අයියලා එක්ක හරි හරියට නටන්නවත් , කවි කියන්නවත් තේරුමක් තිබ්බේ නෑ ඒ කාලේ.  ඒත් කෝම හරි මටත් පොඩි පාර්ට් එකක් කරන්න චාන්ස් එක ලැබුණා අඬබෙර කෝලමේ.
 
වෙස් මූනකුත් බැඳගෙන ගමේ ස්කොලේ පිට්ටනියේ කෝලම් රඟ දක්වපු ඒ අත්දැකීම නම් ආයේ ලබන්න බැරි වෙයි මං හිතන්නේ. කොච්චර මට ඒක හිතට වැදුනද කීවොත් අඬබෙර කෝලම දෙබස් කට පාඩමේ මතක තියාගෙන ගිහින් ස්කොලේ යාලුවෝ එක්ක පුරුදු වෙලා පන්තියේ යාලුවෝ ඉස්සරහ ඉදිරිපත් කරා. නරක නෑ නේද පොඩි වයසට කරපු වැඩ? :D මේක ඇවිල්ල එකදාස් නමසිය බර ගණන් වල , ඒ කියන්නේ 97 අවුරුද්දේ විතර ලබපු අත්දැකීමක්. ඒ කියන්නේ මම ස්කොලේ පහ වසරේ ඉන්න කාලේ.

කොහොම වුනත් ඒ පරණ මතකය අලුත් වෙන විදියේ වැඩකට සහභාගී  වෙන්න අවස්ථාවක්  ලැබුණා ටික දවසකට උඩදී. වැඩේ මේකයි, අම්බලන්ගොඩ පාරම්පරික නැටුම් කලාවේ උරුමය දිගටම පරපුරෙන් පරපුරට පවත්වාගෙන එන බන්ධු විජේසූරිය කලායතනේ අය එකතු වෙලා කෝලම් නාට්‍ය ඇතුලත් නාට්‍ය නිෂ්පාදනයක් එලි දක්වන්නයි සූදානම. ලබන මාසේ හත් වෙනිදා ටවර් හෝල් රඟහලේ තමයි මේ සංදර්ශනය පවත්වන්න හිතාගෙන ඉන්නේ. වැඩි විස්තර පෝස්ටර් එකෙන් බලාගන්න පුළුවනි,  කවදාවත් නැටුම් ඉගෙන  ගෙන නැති අපිට මොන කෝලම්ද කියලා කෙනෙකුට ප්‍රස්නයක් එන්න පුළුවන් . ස්කොලේ වැඩ වලදී දැන අඳුනගෙන තිබුණා නිසා කාංචනා විජේසූරිය ගුරුතුමිය  මේකේ අත්වැල් ගායනා වලට සහයෝගය දෙන්න එන්න කියලා ආරාධනාවක් කරා. මං ඒක සලකන්නේ ලොකු වාසනාවක් හැටියට.  බෙරයක් වදිනවා ඇහෙනකොටත් නිකන්ම අතපය හතර හෙලවෙන නිසා පුහුණුවීම් වලට සභාගි වෙන්නේ නම් හරිම කැමැත්තෙන්. 
Related Posts Plugin for WordPress, Blogger...